Saturday, November 27, 2021

 හරිත දියත මතක සටහන්... [කොටස් දහයෙන් - 10 වන කොටස]

 මීට අවුරුදු 15වකට කලින්, 2006 නොවැම්බර් 25/26 දෙදිනේ බඹරකන්ද දිය ඇල්ල ආශ්රිත නිවාඩු නිකේතනයක "හරිත දියත" නමින් පාරිසරික සංවිධානයක් නිල වශයෙන් ආරම්භ උනාමම ඇතුළු සංවිධානය බිහිකර ගන්න පුරෝගාමී වුනු බොහෝ දෙනෙකුට, පාරිසරික අධ්යාපනය ලබා ගන්න, පරිසරය ගැන දැනුවත් වෙන්න සංවිධානය ගොඩක් පිටුවහලක් උනා... ඒක අපේ ජීවිතවල අමතක නොවෙන සන්ධිස්ථානයක් කිවුවත් වැරදි නෑ කියලා හිතනවා... "පරිසරය ගැන දැනුවත් වීම, පරිසර සංරක්ෂණයට දායක වීම සහ පාරිසරික අධ්යාපනය සමාජගත කිරීම" කියන අරමුණු තුන වටා ගොඩ නැගුන සංවිධානය, කැපවීමෙන් යම් අරමුණක් වටා එක්වෙන සුළු පිරිසකට උනත් ලොකු දෙයක් කරන්ඩ පුළුවන් බව පෙන්නලා දුන්නා......

හරිත දියතට මුලින්ම එකතු උනේ ශ්රී ලංකා දිය ඇලි සංසදය මගින් සංවිධානය කෙරුන පාඨමාලවට සහභාගී උන තුන්වැනි කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පිරිසක්. [ඒකට අඩිතාලම වැටුනේ පාඨමාළාව සම්බන්ධීකරණය කල රංජිත් අමරසිංහ මහතා අප තුල ඇතිකල දැනුම සොයා යෑමේ පිපාසය බව ගෞරවයෙන් සිහිපත් කරනවා].

හරිත දියත මුල් අවුරුදු දහයේ පමණ හොඳ ක්රියාකාරී මට්ටමක තිබුනත්, මේ අන්තිමට ගෙවුන අවුරුදු පහක විතර කාලයේ ඒකත් නිකම්ම නමට විතරක් පවතින සංවිධානයක තත්වයට ලඝුවී තිබීම කණගාටුවට කරුණක්....

හරිත දියතේ 2006-2016 කාල වකවානුවේ පැරණි මතක  කිහිපයක් මේ විදියට කොටස් වශයෙන් පළකරන්ඩ හිතුවා....

2016 හරිත දියතේ මතකයන් අතර, අඹේපුස්ස හමුදා කඳවුරේ තිබුන වාර්ෂික රැස්වීම, ආන්විළුන්දාව චාරිකාව සහ කුමන-පානම-කැබිලිත්ත චාරිකාව විශේෂයි.....

කැබිලිත්ත චාරිකාව මගේ මතකයේ තියෙන හරිත දියතේ අන්තිම මතකයයි... කැබිලිත්තට යන්ඩ තියෙන ආසාව හින්දම ගමනට එක්වුනු අයත් හිටියා. පානම අපේ මග පෙන්වන්නා අපිව කැබිලිත්තට ගෙනියන්න පොරොන්දු උනා. පානම යන අතර තුරේ අපි කොටියාගල " පුංචි සීගිරිය" කියලා හඳුන්වන මයිල්ල-කන්ද ලෙන් චිත් බලන්ඩත් ගියා. එතනදි අපිට දැන ගන්ඩ ලැබුනා කැබිලිත්තෙ යන්ඩ ලේසිම පාර තියෙන්නේ කොටියාගලින් කියලා. පානම ගිහින් බලද්දි අපේ මග පෙන්වන්නා අපිව ගෙනිච්චේ කුමණ-කුඩා කැබිලිත්තට විතරයි. ඉතිං ක්ෂණික තීරණයක් අරන්, අපි කැබිලිත්තෙ යන්ඩ - නැවත කොටියාගලට ආවා.

දෙවියන් ගැන හැටි විශ්වාසයක් නැතත්, සාමාන්යයෙන් 'රෝමෙ ගියොත් රෝමන්කාරයෙක් වගේ ඉන්න ඕනේ' කියනවා වගේ, කැලේ යනකොට මගේ ප්රතිපත්තිය අපිව එක්කන් යන ගමේ මගපෙන්වන්නන්ගේ ඇදහිලි-චාරිත්රවලට අනුගත වෙලා, විදියට හැසිරෙන්ඩ උත්සහ කරන එකයි. ඉතින් අපි ගියේ කැබිලිත්තේ පලතුරු පූජාවක් කරන්ඩ. විනෝදෙට වගේ කැබිලිත්තෙ යන එක අය අනුමත කරන්නේ නෑ.

අපි කැලේට අතුළු වුන වෙලේ ඉඳන් අපිට උනේ 'දෙයියෝ සිහිවෙන' වැඩමයි. අපිට සමගාමීව කොටියාගලින් කැලේට ඇතුළුවුන නඩයක්- පහුවදා අපහු පිටත්වෙනවා අපිට හමු උනත්, අපිට කැබිලිත්තෙ ගිහින් එන්ඩ දවස් හතරක් විතර ගියා. ඒකත් රෑ තිස්සෙත් නොනවත්වා ඇවිල්ලා... අර කියන්නා වගේ අපි 'කට වරද්ඩ ගත්තාද?' කියලා හිතෙන තරමටම වැඩේ දරුණු උනා. යන ගමනෙ අතර මැද් ඉස්සරහටම යමුද? නැත්තන් ආපහු හැරෙමුද? කියන දෙගිඩියාවකට නඩේ සමහරු පත් උනා. සරළ වැඩි ඡන්දෙන් ඉදිරියටම යන්ඩ තීරණය උනත්, සමහරුන්ට ගැන තිබුනේ නොරුස්නාවක්.... අනිතිමේදී අපි ටිකදෙනෙක් කැබිලිත්ත මහ සියඹලාවටම ගිහින් පලතුරු පූජාවකුත් කලා. එතනදි අපේ කපු මහත්තයා විස්තර කලා, දැන එතන අරක් අරන් ඉන්නේ කතරගම දෙවියන්ගේ ආරාධනයෙන් 'කළු බණ්ඩාර' කියලා දෙවි කෙනෙක් කියලා. කළු බණ්ඩාර දෙවියෝ කතරගම දෙවියෝ වගේ නෙවෙයි- ටිකක් සැර පරුෂයි, දැඩි තීරන ගන්න කෙනෙක් කියලත් කපු මහත්තයා කිව්වා. ඉතින් ඉල්ලන දෙයක් හොඳට හිතලා බලලා ඉල්ලන්ඩ කියන එක තමා මං හිතන්නේ කපු මහත්තයා කිව්වේ... අනේ ඉතිං මම හිතුවා.. 'මේ වගේ ගමන් එන්ඩ මට පුළුවන් උනේ හරිත දියත නිසා නේ? ඉතින් හරිත දියතට හොඳක්ම වෙන්ඩ ඕනේ දෙවියනේ' කියලා.

කළුබණ්ඩාර දෙවියෝ හරි වෙනස් විදියට හිතන කෙනෙක් කියලා මට තේරුනේ ටික දවසකට පස්සෙයි.  වෙනකොට ටික ටික බහින කලාවට සෙට් වෙලා තිබුන හරිත දියතට වෙන්ඩ පුළුවන් 'හොඳම දේ' ඒක නැතිකරලම දාන එකයි කියලා කළුබණ්ඩාර දෙයියෝ තීරණය කරලා තිබුනා වගෙයි... එයින් පස්සේ හරිතදියතේ ක්රියාකාරී ගමන නිමා උනා කියලයි මට හිතෙන්නේ.... දෙවියන්ගේ කැමත්ත ඒක උනාට, සාමාජික කැමැත්ත මත තාම ඒක විසුරුවා නොහැර පවත්වාගෙන යනවා.... හැබැයි මම දන්න විදියට, දැනට ඒකේ ගත යුත්තකට තියෙන්නේ මේ සොඳුරු 'අතීත ආවර්ජනා' විතරයි....! :)

 [අරුණ-2021/11/26]




































































No comments:

Post a Comment